රාවණ ඉතිහාසය සත්‍යයකි. Ravana History is True. It is OUR PRIDE.

0 have signed. Let’s get to 10,000!


රාජකීය ඉතිහාසයකට උරුමකම් කියන මේ රටේ ඉතිහාසයට සමකළ හැකි දීර්ඝ ඉතිහාසයක් ලොව වෙනත් කිසිඳු රටකට ඇතැයි සිතීම උගහටය. ඉතා පිළිවෙළට සැකසූ රාජාවලියක් සේම ඉන් එහා ගිය මහා සක්විති රජුන් පිළිබඳ දැවැන්ත ඉතිහාසයක් අපට උරුමය. රජුන් තැනූ ජාතියකට අද අත්වී ඇති ඉරණම ශෝචනීයය. ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, ගුරුදෙවි මුනිදාස කුමාරතුංගයන්,අරිසෙන් අහුබුදු ශූරීන් ආදීන් විසින් සමාජයට විවිධාකාරයෙන් සනාථ කර දැකිවූ, ඉන් එපිට හා මෙපිට මෙරට ජන සමාජය තුළ සෑම අයෙකුගේම සිත්සතන් තුළ පැලපදියම් වූ රාවණ ඉතිහාසය ට මේ රටේම ඉතිහාසය සෙවීම පැවරුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම මහතැන් විසින්ම වෛර කිරීම සුළුපටු නැත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට රාවණ ඉතිහාසයක් නැතැයිද, එය මිත්‍යාවකැයි ද දේශන, සමාජ මාධ්‍ය හා වෙනත් නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිදුකරමින් සිටීම පවත්නා රජය පවා අපහසුතාවයට පත්කරන බව මුලින්ම කිව යුතුයි. කිසිවක් මිත්‍යාවකැයි කීමට ඔහුට කිසිඳු අයිතියක් නැත. මක්නිසාදයත් ඔවුන් ඒ වෙනුවෙන් කළ පර්‍යේෂණයක්ද නැති බැවිණි. පර්‍යේෂණ කළ ද ඔවුන්ට කිව හැකිවන්නේ, " අපගේ පර්‍යේෂණ වලට දැනට රාවණ ඉතිහාසය ගෝචර වී නැත " මිස එය මිත්‍යාවකැයි කියා නොවේ. අඩුම තරමින් පර්‍යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මූලික තාක්ෂණික උපකරණ හෝ නිළධාරීන් නොමැති දෙපාර්තමේන්තුවකට රටක පොදු මහජනයා කුපිත වන පරිදි, ඔවුන් වැඳුම් පිදුම් කරන, ගෞරව කරන, පාරම්පරිකව පිළිගනිමින් එන සංස්කෘතික සභ්‍යත්වයකට එරෙහිවිය නොහැකිය. බුදුන් ගැන හෝ අල්ලා ගැන හෝ ජේසුස් ගැන හෝ ශිව ගැන ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට හැකිවී නැත. ඉන් නිසා රාවණ ඉතිහාසය පමණක් නැතැයි මොරගෑමට තරම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක ට ඇති කැක්කුම කුමක්දැයි අපි නොදනිමු. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා සම්බන්ධ පුවත් පවා විද්‍යාත්මක ව සනාථ කිරීමට නොහැකිවූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රාවණ ඉතිහාසය ට පමණක් මෙතරම් වෛර කරන්නේ මේ ජාතියේ නැගීසිටීම වළක්වාලීම පිණිස වනු ඇති බව අපගේ විශ්වාසයයි. යන්ත්‍ර මන්ත්‍ර, හටන් ශිල්පය, නර්තනය, ගායනය හා වාදනය තුළත්, හෙළ වෙදකම තුළත් පුරෝගාමියා ලෙස මිනිසුන් පහන් දල්වන රාවණ මහ රජුගේ ඉතිහාසය නැතැයි කීම මෙරට සාමාන්‍ය ජනයාගේ සිත් හිතාමතාම පෑරවීමට සහ ඉන් පවත්නා රජය පවා අපහසුතාවයට පත්කකිරීම උදෙසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද්දක් බව අපට හැඟේ. ඉන්දියානු පුරාවිද්‍යාඥයින් පවා අයෝද්‍යා නගරය ආදිය සොයාගනිමින් රාමගේ ඉතිහාසය සත්‍ය බව කියද්දී පොළොවට විරිත්තාගෙන වළංකටු ඇහිඳින මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තත්ත්වය පිළිබඳව ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුය. රටක සකල ඉතිහාසයම සනාථ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට කිසිඳු අයිතියක් නැත. ජනශ්‍රැති විද්‍යා අධ්‍යයනය, මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව, සංස්කෘතික විද්‍යාව, සමාජ අධ්‍යයනය පමණක් නොව සන්නිවේදනය අධ්‍යයනයද පුරාවිද්‍යාවට පෙර අධ්‍යයනය කළ යුතුය. පුරාවිද්‍යාව ඇත්තේ ඉන් අනතුරුවය. මොවුන් මේ සැරසෙන්නේ බටහිර සළුපිළි දවටාගෙන මෙරට සංස්කෘතිය පවා හෑල්ලු කිරීමටය. ඊළඟට මොවුන් අතගසන්නේ අප මහා බුදුන් වහන්සේටය. ඉන් පසුව දළදා වහන්සේවද කාලනිර්ණය කරනු ඇත. අඩුම තරමින් කාලනිර්ණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ පවා නොමැති දුර්වල මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාලනිර්ණ වාර්ථා ලැබෙන තුරුද බටහිරට විරිත්තාගෙන සිටීම හාස්‍යජනකය. එවැනි දෙපාර්තමේන්තුවකින් රටකට සෙතක් ඇතිදැයි ඔබතුමාගේ මැදිහත්වීමෙන් වහාම සොයාබැලිය යුතු බව අපගේ විශ්වාසයි. රනින්, රිදියෙන්, ඇත් දළින් වැඩදැමූ ඉතිහාසයක් ඇති මෙරට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් වලින් ලැබෙන තරමක් වළං කටු වීම සාධාරණදැයි වෙනම කල්පනාකර බැලිය යුතුය. රාවණ ඉතිහාසය පිළිබඳව කතාකරන අයට නින්දා කරමින්, අවලාද නගමින් සිටීම හැර අන් කිසිවක් මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැන් සිදුකරන බව අපට පෙනෙන්නේ නැත. මෙය සහමුලින්ම රටක සාමාන්‍ය ජනයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. සාමාන්‍ය ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවයට වෛර කරමින් ඊට පහරදෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක හා ඊට උඩගෙඩිදෙන අනෙක් අයවලුන් එලෙස හැසිරෙන්නේ කවර කරුණු නිසාදැයි දැනගැනීම පිළිබඳව මෙරට මහජනයාට අයිතියක් තිබේ. රටක මහජනයා කළඹා ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔබගේ විශේෂ අවධානයට යොමුවනු ඇතැයි අපි රටක් ලෙස දැඩි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කරන්නෙමු. ඔබ රටට ජාතියට ආදරය ඇති නායකයෙකු වන බැවින් රටේ පොදු, බහුතර ජනතාවගේ හදවත්වල මේ මොහොතේ කැකෑරෙන වේදනාව මෙලෙස ඔබට ලියන්නේ මේ පිළිබඳව සාධාරණයක් බලාපොරොත්තුවෙනි. මෙම ලිපිය මගින් දක්වන අවනඩුව කෙරෙහි ඔබතුමන්ගේ විශේෂ අවධානය යොමුකර අපගේ පාරම්පරික සංස්කෘතික සභ්‍යත්වය අපට තවදුරටත් රැකගැනීම වෙනුවෙන් කටයුතු සලසනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙරට හා පිටරට වෙසෙන දෑහිතකාමී මහජනයාගෙ අත්සනින් යුතුව මෙම පෙත්සම ඔබතුමා වෙත මහත් ගෞරවයෙන් යුතුව ඉදිරිපත් කර සිටින්නේ ජාතියේ අභිමානය රැකගැනීමේ අතිශය උවමනාව ඇතුවය.